පොදුජන පැතුම වපුරන රන්කෙත

පරාජයට පත් කරනු ලැබූවේ යුධ ශාපයෙන් රට මුදාගත් පාලනයකි..

“වර්තමාන නායකයින් රටට ශාපයක් වෙලා. එජාපය හා ශ්‍රිලනිපය අවුරුදු 70ක් තිස්සේ ලංකාව අසමත් කළා.” විජේදාස රාජපක්‍ෂ (ඊයේ රඹෑව)

“(සිරිසේන) පක්‍ෂය බාරගන්නකොට අපි විස්වාස කළා පක්‍ෂයත් අපිත් රැකගෙන ගමනක් යාවි කියල. ඒත් ඒ විස්වාසය රකිනව කියල අපිට පේන්නෙ නැහැ. ඒක මම විවෘතව කියනවා” සුසිල් ප්‍රේමජයන්ත (අද ලංකාදීප)

නමින් නොකිව්වත් විජේදාස මෙහි දී කියන්නේ අගමැති රනිල් හා ජනපති සිරිසේන ගැන බව අමුතුවෙන් කිවයුතු නැහැ. සුසිලුත් එළිපට ම මෙතන සිරිසේන විවේචනය කරනවා. මේ අපේක්‍ෂාභංගත්වය ඇයි?

2015 ජනවාරි 08 ජනපතිවරණයෙන් පසු ලැබූ සමය අපට වැදගත් වෙන්නේ, අන් බොහෝ සාධක මැද ශ්‍රිලනිපය හා එජාපය පක්‍ෂ ලෙසත් නායකයින් ලෙසත් නැවත වරක් එකතු කරපු නිසා. ශ්‍රිලනිපය කියන්නේ එජාපයෙන් කැඩී ආ පක්‍ෂයක්. ඒ කැඩීම නැවත සන්ධි කළේ සිරිසේන. ඒත් දැන් ඒක අසාර්ථකයි කියන්නේ ඒ පක්‍ෂ දෙක තනිවමක් වෙනමත් අසාර්ථකයි කියන එක මිසක් වෙනකක් නෙමෙයි. කිසියම් පක්‍ෂයක් හෝ සංවිධානයක් දෙකට කැඩිලා වෙනම ගමනක් යනවා කියන්නේ තනි ගමනක් නැහැ කියන එක. ආපහු එකතු වෙනවා කියන්නෙ දෙකක් විදියට ගිහිං සාර්ථක ගමනකුත් නැහැ කියන එක. ඒ කියන්නෙ කොහොම ගියත් ගමනක් නැහැ කියන එක. අන්න එතෙන්දි තමයි පක්‍ෂයක් තමන්ගේ තාර්කික අවසානයට එන්නෙ. ශ්‍රිලනිපයත් එජාපයත් අද එතෙන්ට ඇවිත්. අවුරුදු 70ක් තිස්සේ මේ පක්‍ෂ දෙක රට අසමත් කළා කියන එක අර්ථවත් වෙන්නෙ මෙන්න මේ පසුබිම ඇතුලේ.

රටට දැන් බලාපොරොත්තුවක් නැතිම ද? මීට පිළිතුරු දෙන්නේ අද (20) ඉරිදා ලංකාදීප කතුවැකිය. (උපුටමි) “අවධාරණය කරගත යුතු වඩාත් වැදගත් කාරණාවක් තිබේ. මෙරට සාතිශය බහුතරයක් ජනයා පළමුව 2015 ජනවාරි 08වැනි දාත්, දෙවැනිනුව එම වසරේ ම අගෝස්තු 18 වැනිදාත් පරාජයට පත් කරනු ලැබූවේ තිස් වසරක යුධ ශාපයෙන් රට මුදාගත් පාලනයකි. අලුත් ම ගුවන් තොටුපළක්, අලුත් ම වරායක් මෙන් ම අධිවේගී මාර්ග පද්ධතියක් ද මෙරටට දායාද කළ රජයකි. නව ගුවන් පාලම් පමණක් නොව, රට පුරා විහිදුනු මාර්ග පද්ධතිය ද නවීකරණය කළ නගර ශෝභමාන කළ රජයකි. නිදහසින් පසු මෙරට රජයක් එකවර මෙතරම් ප්‍රාතිහාර්යයක් නොපෑ බව අවිවාදාත්මක ය” (උපුටා ගැනීම අවසන්).

UA-92200809-1