පොදුජන පැතුම වපුරන රන්කෙත

වරාය ගිවිසුම වලංගු ද…?

– මහින්ද පතිරණ

හම්බන්තොට වරාය වසර 99කට චීනයට බදුදීම පිළිබඳ ගිවිසුම ගැන ශ්‍රී ලංකා රජය, විශේෂයෙන් එය ලබා ගන්නා චීනයත් අලුතින් කල්පනා කළ යුතු බරපතළ තත්වයක් මේ වන විට නිර්මාණය වෙමින් තිබේ. ඒ ඉදිරියේ දී ගිවිසුම අහෝසි වීමේ විශාල ඉඩකඩක් මතුව ඇති නිසා ය. අප එසේ ප්‍රකාශ කරන්නේ කාරණා 4ක් පදනම් කරගෙන ය. අංක එක වන්නේ සමස්ත වරාය බදුදීම හා වරාය ඉදිකිරීමට ගත් ණය මුදල බදුදීම හරහා පියවීම ගැන ආණ්ඩුව විසින් සමාජගත කර ඇති කතාව සම්පූර්ණ ජාතිය රැවටිල්ලක් බව දැන් තහවුරු වී තිබීම ය. දෙවැනි කාරණය නම් වරාය බදු මුදල තක්සේරු කළේ කුමන පදනමකින් ද යන්න ආණ්ඩුව හෙළි කර නැති නිසා ය. අංක තුන නම් මීට එරෙහි ව රටේ ප්‍රබල දේශපාලන ධාරා තුනකින් වරාය නැවත ජනසතු කරන බවට මත ප්‍රකාශ වීම ය.  හතරවන කාරණය සැලකිල්ලට ගත යුතු වන්නේ ශ්‍රී ලංකාවේ මිතුරෙකු ලෙස චිරප්‍රසිද්ධ චීනය විසිනි. ඒ නම් වරාය බදුගැනීම චීනයේ මහජන ප්‍රතිරූපයට ලංකාව තුළ පමණක් නොව, මුළු කලාපයේ ම දැඩි හානිකර තත්වයක් ලෙස මතුවෙමින් තිබීම ය.

වරයා බදු දීම හරහා අණ්ඩුවේ ණය බව අඩුවන බවට ප්‍රකාශිත මතය සම්පූර්ණ අසත්‍යකි. මේ වන විට හෙළිව තිබෙන්නේ වරයා බදුදීම තුළ ශ්‍රී ලංකාව චීනයෙන් ගත් ණය මුදලින් සතයක් හෝ අඩු නැතිව නැවත සුපුරුදු පරිදි ගෙවීය යුතු බව ය. එනම් මේ වස‍රේ වාරිකය වන ඩොලර් මිලියන 90 ද ඉදිරි වසරවල ඒවා ද අප චීනයට ගෙවිය යුතු ය. මෙම තත්වය කොතරම් භයානක ද හා රටට අවාසිදායක ද කිවහොත් ශ්‍රී ලංකාව මේ වන විටත් ඩොලර් මිලියන 500ක් පමණ වරාය වෙනුවෙන් පසුගිය සමයේ ගෙවා දමා ඇත. වරාය බදුදීමෙන් අපට ලැබෙනුයේ ඩොලර් මිලියන 1100කි. ඉන් 500ක් අඩුකළ විට එය මිලියන 600කි. වත්මන් ආණ්ඩුව පවතින තුරු, එනම් වසර ඇතුළු ඉදිරි වසර 2 තුළ පමණක් අප චීනයට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 300ක් ගෙවනු ඇත. ඒ අනුව, අපට සමස් ගිවිසුමෙන් ලබා ඇත්තේ ඩොලර් මිලියන 300ක් පමණි. එහෙත් අමතක නොකළ යුතු වන්නේ අප ඉදිරියට ද මෙම ණය වාරික 2036 වසර දක්වා ගෙවා දමන බව ය. රැවටිල්ලේ මිළ කීය ද?

ඉහත කරුණට ම සම්බන්ධව ම දෙවැනි කාරණය සැලකිල්ලට ගැනීම වටී. වරයා ගිවිසුම ප්‍රකාරව හම්බන්තොට වරාය හා ඒ ආශ්‍රිත ඉඩම් අක්කර 4000ක් පමණ චීනයට බදුදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් මිලියන 1100ක මුදල සඳහා විද්‍යාත්මක තක්සේරුවක් කළේ ද? එසේ නම් ඒ කවුද? මේවා ජාතියෙන් වසන් කර තිබේ. මෙහි බරපතළකම වන්නේ අප වරාය කොටස් සියයට 85ක් අවුරුදු 99කට චීනයට බදු දුන්න ද අප මුළු වරාය සඳහා ම ගත් සමස්ත ණය මුදල ඩොලර් මිලියන 1600ක් පමණක් වීම තුළ ය. එනම් අප වරාය බදු දී තිබෙන්නේ ගත් ණය මුදලවත් නොපියවෙන මිළකට ය. මේ වන විට ඩොලර් මිලියන 500ක් චීනයට ගෙවා තිබීම මත මෙම මුදල කොතරම් සොච්චමක් ද යන්න තව දුරටත් පැහැදිළි විය යුතු ය. වරායක් හෝ අන් කිසි දේපළක් ණය මුදලක් ගෙන ඉදි කිරීමෙන් පසු එහි වටිනාකම අදාළ ණය මුදලින් මැනිය නොහැකි බව සාමාන්‍ය දැනීමයි. නිවසක් ඉදිකළ පසු ඊට අමතර විශාල ආදායමක් එකතු වේ. ලොව උපක්‍රමික පිහිටුවීම අතින් හොඳම වරායවල් කීපයෙන් එකක් වන හම්බන්තොට වරාය ගත් ණය මුදලවත් නොපිරිමැසෙන ලෙස තක්සේරු කිරීම ජාතික අපරාධයක් නොවන්නේ ද?

තුන් වැනි කරුණ නම් හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහි ව නීති තර්ක පමණක් නොව, ප්‍රබල දේශපාලන මතයන් ද පසුගිය දා ප්‍රකාශ වූයේ සුළුපටු දේශපාලන චරිතයන්ගෙන් නොවීම ය. වරාය ගිවිසුම අත්සන් කළ දිනයේම බැසිල් රාජපක්‍ෂ මහතා, පොළොන්නරුව රැස්වීමක දී මහජනතාව ඉදිරියේ අති පැහැදිළි අද්විතීය මතයක් ජනගත කරමින් ප්‍රකාශ කර සිටි‍යේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයක් පත් වූ විට බදු දෙන ලද වරයා නැවත ජනතා සන්තක කරන බව ය.බැසිල් රාජපක්‍ෂ යනු මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන උපදේශකයා මෙන් ම කළමනාකරු ය. පසුගිය රජයේ ආර්ථික සැලසුම්වල නිර්මාතෘ ඔහු ය. පුද්ගලික අංශයට පවරා දී තිබූ රාජ්‍ය සම්පත් විශාල ප්‍රමාණයක් නැවත ජනසතු කිරීමේ උපායමාර්ග සකස් කළේ බැසිල් රාජපක්‍ෂ බව එවක රජයට සමීප බොහෝ අය දනිති. ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ නොහැකි හිස් වාචාලකම් ප්‍රකාශ නොකරන ඉතිහාසයක් හිමි ඔහු යම් අදිටනක් කළ හොත් එය ඉටුකර ගන්නා තුරු නොපසුබට වන චරිතයක් ලෙස ප්‍රකට ය. බැසිල් මිනුවන්ගොඩ රැස්වීමක දී ප්‍රකාශ කළේ, ජනපතිවරයා විසින් අත්සන් නොකරන ලද ගිවිසුමකින් රටේ බිම් අඟලකුදු විදේශ රටකට බදු දිය නොහැකි බව ය.  බැසිල් රාජපක්‍ෂගෙන් පසු, එම අදසහ ම තවදුරටත් තීව්‍ර කරමින් ප්‍රකාශයක් කළ පාලක සභාග ආණ්ඩුවේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයෙකු වන අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ද, ගිවිසුමට එරෙහි ව ප්‍රබල මතයක් ප්‍රකාශ කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, “හම්බන්තොට වරයා නැවත ශ්‍රී ලංකා ජනතාව සතු කරන තුරු තමා විවේක නොගන්නා බව ය”.ආණ්ඩුවේ ම ප්‍රබලයෙකු විසින් කරන ලද එකී ප්‍රකාශයෙන් ආණ්ඩුව කම්පනය වූවාට සැක නැත. විජේදාස රාජපක්‍ෂ ද සුළුපටු දේශපාලන චරිතයක් නොවේ. ඔහු දේශපාලකයෙකුට අමතර ව නීති විශාරදයෙකු ද වේ. ඔහු තම ප්‍රකාශය තුළ වැදගත් නීති කරුණක් ගෙනහැර පා තිබුණි. එය බැසිල් රාජපක්‍ෂ විසින් කළ ප්‍රකාශය ම වෙනත් අයුරකින් කීමක් ලෙස ගත හැකි ය. ඔහු කීවේ, උදාහරණයක් ලෙස භාණ්ඩාගාරයට ඒ යටතේ ඇති යම් දේපළක් බදු දිය හැකි වුව ද ඊට භාණ්ඩාගාරය ම බදු දිය නොහැකි සේ ම වරාය අදිකාරියට තමන් ම බදුදිය නොහැකි බව ය. කොටින් ම වරායට වරාය ම විකිණිය හෝ බදු දිය නොහැකි ය. එසේ කරන්නේ නම් කළ යුත්තේ ඊට ඉහළින් තිබෙන අධිකාරියක් විසිනි. එහෙත් එවැනි දෙයක් මෙරට මහජනයා වරාය ගිවිසුමේ දී දුටුවේ නැත. මේ අතර, විජේදාස රාජපක්‍ෂ හට මෙවැනි රාජ්‍ය සම්පත් පුද්ගලික අංශයේ සිට නැවත රජයට පවරා ගැනීමේ නීති ඉතිහාසයක් ද තිබේ. දැන් තුන්වැනි චරිතයක් ද දැන් මීට එකතු වී ඇත. ඒ පාලක සභාගයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබල ඇමතිවරයෙකු වන සුසිල් ප්‍රේමජයනත් ය. ඔහු, මෙම ගිවිසුම ගැන සොයා බැලීමට ජනපතිවරයා විසින් පත් කරන ලද කැබිනට් අනුකමිටුවේ සාමාජිකයෙකු ද වේ. ප්‍රේමජන්තට අනුව, අදාළ කමිටුව විසින් නිර්දේශ කරන ලද කරුණු ද නොසලකා හරිමින් හදිසියේ ම ගිවිසුම අත්සන් කොට ඇති බවත් තමා ඊට සපුරා එරෙහි බවත් ය. නීතිය හමුවේ මෙම කරුණට බරපතළ අවධානය යොමුවනු ඇත.

මෙසේ රටේ දේශපාලනයේ විසල් හරස්කඩකින් අනපේක්‍ෂිත ලෙස පැමිණි මෙම විරෝධය සුළුවෙන් තැකිය හැකි ද? බැසිල්, විජේදාස හා සුසිල් මුලින් සාකච්ඡා කොට සැලසුමකට අනුව මෙසේ කීවැයි අපට ඉඳුරාම කිව නොහැකි ය. එහෙත් මෙම ජාතික කාරණයේ දී ඔවුන් අතර යම් එකඟතාවක් නැතැයි ද කිව නොහැකි ය. ආණ්ඩුවේ විකුණුම් ප්‍රතිපත්තියට එරෙහි ව ඉදිරියේ දී ඔවුන් එක පෙරමුණකට නොඑතැයි ද කිව නොහැකි ය. කෙසේ වෙතත්, ඔවුන්ගේ මතයන් රටපුරා ඉතා ජනප්‍රිය වූ අතර ඊට සමාන්තර විශාල ජනමතයක් ද ගොඩ නැගෙමින් තිබේ. ඊට සහාය වී තිබෙන්නේ මෙම මතය ප්‍රකාශ කළ දේශපාලන චරිතවල අතීත හා වර්තමාන භූමිකාවයි.

අප සඳහන් කළ 4 වන කාරණයට අවධානය යොමු කරමු. ඉහත වන් ශ්‍රී ලංකා රජයේ අවිධිමත් හා වංචනික ක්‍රම ඔස්සේ වරාය බදුගැනීම තුළ චීනය සම්බන්ධයෙන් ගොඩ නැගෙන තත්වය එරටට එතරම් සුභදායි එකක් නොවේ. චීනයට ඉදිරියේ දී ලංකාව තුළ දිගු කාලීන මෙන්ම අන්‍යෙන්‍ය ප්‍රතිලාභ මත දිවෙන ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් පවත්වා ගැනීමට අවශ්‍ය නම් වත්මන් වර්ධනයන් ඔවුන් සමීප ව අධ්‍යනයය කළ යුතු බව යෝජනා කරමි. කෙටිකාලීන හා ඇතැමුන් සතුටු කිරීමේ ක්‍රියාමාර්ග ද එරටට තාවකාලික සේම ඍණපළදායි (counterproductive) වේ. හම්බන්තොට පාදක කරගනිමින් මේ වන විට ද ඉන්දියාව හා කලාපයේ සෙසු රටවල ප්‍රචාරය වන මතයක් වන්නේ, චීනය හිතා මතා ම රටවල් ණය උගුලට හසු කර ඒවා දුර්වල වූ පසු සම්පත් නතු කරගන්නා ක්‍රියාමාර්ගවලට යන බවට ය. එය විස්වාස කිරීමට තරම් අපට සාධක නැත. එහෙත් හම්බන්තොට ගිවිසුම චීනය ගැන අප‍ට අවිස්වාසය කැඳවන්නේ ද?

මේ අතර, ගිවිසුම් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ ද එය ද සිදු වූයේ නැත. ඒ අනුව, පාර්ලීමේන්තු අනුමැතිය මතු නොව, ඊට ඉදිරිපත් කිරීම යන කොන්දේසියෙන් හෝ රජයට ගැලවිය නොහැකි ය. ගිවිසුම අත්සන් කළ දින හෝ ඊට ආසන්න දිනක දී ජනපති සිරිසේන විසින් කළ ප්‍රකාශයක සඳහන් වූයේ තම පාර්ශවය විසින් ඉදිරිපත් කළ කාරණා ගිවිසුමට ඇතුළත් කිරීම නිසා එය වඩාත් සාධනීය එකක් වූ බව ය. එහෙත්, අගමැති වික්‍රමසිංහ විසින් පාර්ලීමේන්තුවේ දීම කළ ප්‍රකාශයකින් පැහැදිළි වූයේ සෙනසුරාදා දින අත්සන් කළ ගිවිසුම ඊට කලින් සැලසුම් කර තිබූ එකම බවත් ඊට කිසිදු සංශෝධනයක් හෝ ඇතුළත් නොකළ බවත් ය. මේ පරස්පරතාව ගිවිසුමේ වලංගු බව තවදුරටත් ප්‍රශ්න කරන්නකි. මේ සියල්ල විසින් ප්‍රකාශ කර සිටින්නේ හම්බන්තොට වරාය ගිවිසුම නීතිමය අතින් ඉතා දුබල එකක් බවත්, එය ජාතිය රවටා මුලා කිරීමක් බවත් කිසියම් දිනක මෙම ගිවිසුම හා සමස්ත ක්‍රියාවලිය ලංකාවේ ශ්‍රේෂඨාධිකරණය හමුවට ගෙන ගියහොත් අනිවාර්යෙන් ම අවලංගු විය හැකි එකක් ද බවත් ය. එසේ කර ගැනීම උදෙසා එළඹ තිබෙන ප්‍රබල දේශපාලන චරිතවල දේශපාලන අධිෂ්ඨානය ද (political will) අන් සියළු සුදුසුකම් ද සපුරා ඇති බව අවසන් වශයෙන් සටහන් කරමි.

– මහින්ද පතිරණ

UA-92200809-1