පොදුජන පැතුම වපුරන රන්කෙත

අලුත් ක‍්‍රමයේ පුංචි ඡන්දයෙන් ජවිපෙ හේදිලාම යයි..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලග එන බව පැවසෙතත් ඒවායේ මන්ත්‍රීවරුන් පත් කර ගැනීම ගැන විවිධ අය විවිධ අදහස් පල කරනු දක්නට ලැබේ. මේ ගැන ආචාර්ය චන්න ජයසුමන මහතා උදාහරණ සහිත සරල පැහැදිලි කිරීමක් සිය ෆේස් බූක් ගිණුමේ දක්වා ඇත. මෙහි දැක්වෙන්නේ එම සටහනයි.

සුවිශේෂ හේතුවක් නැති වුවහොත් ලබන වසරේ ජනවාරි මාසයේ පළමු සෙනසුරාදා දින දෙකෙන් එකක පළාත් පාලන මැතිවරණය (පුංචි ඡන්දය) පැවැත්විය යුතුය. මේ ඡන්දයෙන් අපේක්ෂකයන් තේරී පත්වන ක්‍රමය ගැන බොහෝ දෙනා තුළ ඇත්තේ අපැහැදිලි බවකි.

සමානුපාත-කේවල මිශ්‍ර ඡන්ද ක්‍රමය ගැන අත්දැකීමක් අප කාටත් නැති වීමත් 2012 මුලින් යෝජනා වූ මිශ්‍ර ක්‍රමය දැන් ඡන්දය පවත්වන්නට යන ක්‍රමයෙන් වෙනස් වීමත් මේ ව්‍යාකූල බවට මුලිකව හේතු කාරණා වූවා විය හැක. ලැබී ඇති තොරතුරු අනුව ඉදිරි ඡන්දයෙන් මන්ත්‍රීවරු තේරෙන ක්‍රමය පිලිබඳ පැහැදිලි කිරීමක් පහත දැක්වේ.

2102 අංක 21 සහ 22 සංශෝධන අනුව යෝජනා වූයේ 70:30 ක්‍රමයකි.

මෙහි 70 යනු අදාල ප්‍රාදේශීය/ නගර/ මහ නගර සභාවට අයත් කොට්ටාශ මට්ටමින් පත්වන මන්ත්‍රීවරු ගණනය. 30 යනු ප්‍රාදේශීය/ නගර/ මහ නගර සභාවේ කොට්ටාශ ජයග්‍රහණයට අදාල ඡන්ද ඉවත්කළ පසු ඉතිරිවන පරාජිත ඡන්ද එකතු කර (කොට්ටාශයක අවමය 5% වත් විය යුතුය) සමානුපාතික ක්‍රමයට පත්වන මන්ත්‍රීවරුන්ට හිමිවන ප්‍රමාණයයි.

මේ ක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඡන්ද ප්‍රතිශතය 5% අවට දෝලනය වන පක්ෂ දැඩි විරෝධයක් දැක්වූයේ ඔවුන්ට රටෙන්ම හිමි වන මන්ත්‍රීධුර ප්‍රමාණය කිහිපයක් පමණක් විය හැකි බැවිනි. කෙසේ වෙතත් දැන් මේ ක්‍රමය වලංගු නොවන නිසා උදාහරණ සහිතව විමැසීම අවශ්‍ය නැත.

දැන් ඡන්දය පවත්වන්නට පසුගියදා අනුමැතිය හිමි වී ඇති 60:40 ක්‍රමය මෙසේය. අදාල සභාවට අයත් කොට්ටාශ ගණන 60% ලෙස සලකා මුළු මන්ත්‍රීධුර ගණන තීරණය කරයි. සභාවට ලැයිස්තු 2 ක් ඉදිරිපත් කළ යුතුය.

1. “තරග කරන” ලැයිස්තුව; එය කොට්ටාශයට එක්කෙනා බැගිනි; සභාවේ මුළු මන්ත්‍රී ධුර ගණනින් 10%ක් වන අගයට සමාන ගණනක් මේ ලැයිස්තුවේ කාන්තාවන් සදහා වෙන් කල යුතුය..

2.කොට්ටාශ ගණන 60% ලෙස සලකා ඉතිරි 40% ට අදාල ගණනට 3 ක් එකතුකර ලැබෙන අගයට අදාල ලැයිස්තුව. මේ අතුරින් 50% කාන්තාවන් සදහා වෙන් කළ යුතුය.

ජන්දයෙන් ඒ ඒ පක්ෂ (සහ ස්වාධීන කණ්ඩායම්) සභාව තුළ ලබා ගන්නා මුළු ජන්ද ප්‍රතිශතය අනුව මන්ත්‍රීධුර සංඛ්‍යාව තීරණය වේ. යම් පක්ෂයක් ජයග්‍රහණය කළ කොට්ටාශ ගණන සභාවේ මුළු ප්‍රතිශතය අනුව ලැබෙන මන්ත්‍රීධුර ගණනට සමානනම් අදාල පක්ෂයේ දෙවන ලැයිස්තුවෙන් කිසිවකුට අවස්ථාව නැත. යම් පක්ෂයක් ජයග්‍රහණ කළ කොට්ටාශ ගණන ලැබෙන මන්ත්‍රීධුර ගණනට අඩුනම් ඉතිරිය පක්ෂ ලේකම්වරයා දෙවැනි ලැයිස්තුවෙන් නම් කරයි. ප්‍රශ්නය ඇතිවන්නේ සමස්ත ප්‍රතිශතය අනුව ලැබෙන මන්ත්‍රීධුර ගන්නට වඩා කොට්ටාශ ගණනක් අදාල පක්ෂය ජයග්‍රහණය කර තිබුනොත්ය. එවිට කොට්ටාශ ජයග්‍රහණය කළ අයකුට හෝ කිහිප දෙනකුට මන්ත්‍රීධුර නොලැබී යා හැක. ඒ සදහා ලබා දී ඇති විකල්පය නම් කොට්ටාශ ජයග්‍රහණය කළ සියලු දෙනා ලැබෙන ඡන්ද ප්‍රතිශතය අනුව පක්ෂයට හිමිවන මන්ත්‍රීධුර ගණන කවරක් වුවත් මන්ත්‍රීවරුන් ලෙස සභාවට තේරී පත්වීමයි (මෙය එල්ලිලා යෑමකි -over hang). මේ නිසා සභාවේ මන්ත්‍රීධුර ගණන ඡන්දයෙන් පසු වෙනස්විය හැක.

අපි උදාහරණයකින් මේ ක්‍රමය තේරුම් ගමු.

“අ” නම් ප්‍රාදේශීය සභාවේ කොට්ටාශ ගණන 6 ක් නම් මුළු මන්ත්‍රීධුර ගණන 10 කි. “ඉ” පක්ෂයේ පළමු ලැයිස්තුවේ අපේක්ෂකයන් ගණන 6 කි. මේ ලැයිස්තුවේ “මුළු මන්ත්‍රීධුර ගණනින් 10% ක්” කාන්තා අපේක්ෂකයන් විය යුතු නිසා (මේ උදාහරණයේ) එක් කාන්තාවක එක කොට්ටාශයකට තරග කළ යුතුය. දෙවැනි ලයිස්තුවේ 4+3=7ක් සිටිය යුතුය. ඉන් 50% එනම් අවම 3 ක් කාන්තාවන් විය යුතුය.

ඡන්ද ප්‍රතිපල අනුව “අ” නම් ප්‍රාදේශීය සභාවේ මුළු වලංගු ඡන්දවලින් 60%ක් “ඉ” පක්ෂය ලබා ඇතැයිද කොට්ටාශ 6 ම එම පක්ෂය දිනා ඇතැයිද සලකමු. එවිට සභාවේ මන්ත්‍රීධුර 6ක් කොට්ටාශ ජයග්‍රහණය කළ “ඉ” අපේක්ෂකයන්ට ලැබේ. ඉතිරි මන්ත්‍රීධුර 4 සභාවේ ලබා ගත් මුළු ඡන්ද ප්‍රතිශතය අනුව අනෙක් පක්ෂවලට හිමි වේ. එම පක්ෂවල දෙවැනි ලැයිස්තුවේ නම් ඇති අයට එහිදී අවස්ථාව ලැබේ.

ඡන්ද ප්‍රතිපල අනුව “අ” නම් ප්‍රාදේශීය සභාවේ මුළු වලංගු ඡන්දවලින් 70%ක් “ඉ” පක්ෂය ලබා ඇතැයිද කොට්ටාශ 6 ම එම පක්ෂය දිනා ඇතැයිද සලකමු. එවිට සභාවේ මන්ත්‍රීධුර 7ක් “ඉ” පක්ෂයට ලැබේ. එනම් කොට්ටාශ දිනු 6 දෙනා සහ දෙවන ලැයිස්තුවේ එක් අයකුට ලෙසයි.

ඡන්ද ප්‍රතිපල අනුව “අ” නම් ප්‍රාදේශීය සභාවේ මුළු වලංගු ඡන්දවලින් 50%ක් “ඉ” පක්ෂය ලබා ඇතැයිද කොට්ටාශ 6 ම එම පක්ෂය දිනා ඇතැයිද සලකමු. එවිට සභාවේ මන්ත්‍රීධුර 5 ක් “ඉ” පක්ෂයට ලැබේ. එහෙත් ජයග්‍රහණය කළ 6 දෙනාටම මන්ත්‍රීධුර හිමි වේ. අනෙක් පක්ෂ ලබා ගත් 50% ට අදාල මන්ත්‍රීධුර 5 ද ලැබෙන නිසා ඡන්දය අවසානයේ සභාවේ මුළු මන්ත්‍රීධුර ගණන 11ක් වේ.

දෙවන ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු පත්කිරීමේ බලය පක්ෂ ලේකම්වරුන්ට හිමි වේ. පරාජිත අපේක්ෂකයකුට දෙවන ලැයිස්තුවෙන් අවස්ථාවක් ගෙන මන්ත්‍රීධුරයක් ලබා ගත හැකිද යන්න පැහැදිලි නැත. ඉතා තරගකාරී කොට්ටාශයක් ඡන්ද 1 කින් පරාජය වූ අයෙක් වෙනුවට තරග නොකළ එම පක්ෂයේම දෙවන ලැයිස්තුවෙන් පැමිණෙන අයකුට අවස්ථාව ලැබීම කෙතරම් සාධාරණදැයි විමැසිය යුතුය.

දැනට පෙනෙන අයුරට සුළු පක්ෂවලට සහ දෙමල, මුස්ලිම් පක්ෂවලට සිංහල බහුතරයක් වෙසෙන මුළු මන්ත්‍රීධුර ප්‍රමාණය 20 ට වැඩි සභාවලදී මෙම ක්‍රමයෙන් යම් වාසියක් හිමි වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තිබෙන මට්ටමින් පුංචි ඡන්දයට පිවිසුනහොත් එම වාසිය අනෙක් සුළු පක්ෂවලට අහිමි වේ. මන්ත්‍රීධුර ගණන 20ට වැඩි සභාවලදී ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ හෝ මුස්ලිම් කොන්ග්‍රසය සමග මන්ත්‍රීධුරයක් ලබා ගැනීමට සටනක් දීම ඊට හේතුවයි. තවද මෙම ක්‍රමයෙන් ප්‍රධාන පක්ෂ දෙකට (එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට) උතුරු සහ නැගෙනහිර පළාත්වලින් යම් වාසියක් අත් විය හැක.

ඡන්ද ක්‍රමය ගැන පළාත් පාලන පනත වෙනස් වුව ද මහනගර/ නගර/ප්‍රාදේශීය සභා ආඥ පනත්වල තවම ඇත්තේ 2012 අංක 21 දක්වා ඇති (70:30) ක්‍රමයයි. ඡන්දය පවත්වන්නට නම් එම ආඥපනත් ද නව ඡන්ද ක්‍රමයට අනුව සංශෝධනය විය යුතුය.

– චන්න ජයසුමන FB

UA-92200809-1