පොදුජන පැතුම වපුරන රන්කෙත

සිංහල බෞද්ධයන්ගේ ආරක්‍ෂාවට අපි කැපවෙනවා..

-අස්ගිරියේ මහා ලේකකාධිකාරී හිමියෝ

නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අදාළව තමන් වහන්සේලා වෙත ලද වාර්තාව සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු මහා විහාරයන්හී ස්ථාවරය පැහැදිලි කිරීමත් සමග මහා සංඝරත්නය කෙරෙහි යම් ආන්දෝලනාත්මක පුවත් රට පුරා ඇසුණි. මේ ඒ සම්බන්ධයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග කරන විමසුමකි.

මොකක්ද මේ අලුත් ව්යවස්ථාව සම්බන්ධයෙන්ඇතිවූ ආන්දෝලනය?

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විට මූලික කරුණු කීපයක් තුළ ඒ රාමුවේ සිට කටයුතු කිරීම වැදගත්. පසුගිය  දින අප ඉදිරිපත් කළ වාර්තාව සම්පාදනය වන්නේ මෙහෙමයි. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අපට යෝජිත කෙටුම්පතක පිටපත්  වාර්තාව ලබාදුන්නා. මෙය අපගේ මහනායක හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා විසින් අවධාරණය කර අපේ අදහස් යෝජනා දක්වන්න යැයි අපට ආරාධනය කළා. එතෙනදි අපේ අදහස් යෝජනා නිගමන අවශ්‍ය නොවනවා නම් දේශපාලකයන් මේවා අප වෙත ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැනේ.

එතෙනදි ඔබවහන්සේලා ගත් ක්රියාමාර්ගය පැහැදිලි කළොත්?

අපේ ස්ථානයන්ට පැමිණි  විවිධ කණ්ඩායම්වලට එක එක අදහස් තිබුණා. ඒ අතර ස්වාධීන සහ මධ්‍යස්ථ ඒවාද තිබුණා. තවදුරටත් ඒ අනුව කිසිම පක්ෂයකට පාටකට හෝ දේශපාලන කල්ලිවාදයට අයත් නොවන මෙරට ජාති ආගම් වාදයෙන් තොර මධ්‍යස්ථ විද්වත් කණ්ඩායමක් සමග සාකච්ජා කළා. එතැනදි බුද්ධාගමේ පැවැත්මට එහි ඇතුළත් හානිකර කරුණු පවතින බව අප අවධාරණය කළා.

 අනුව නිරීක්ෂණය කළ මූලික කරුණු පැහැදිලි කළොත්?

මේ බලය බෙදීම යන සාධකය තුළ ජනාධිපතිවරයාගේ බලය පවා අහිමි වන බව පෙනෙනවා. යම් අර්බුදකාරී අපැහැදිලි තත්ත්වයන් තුළින් ජනාධිපති හරහා පළාත් සභාවන්ට බලය තහවුරු වන බවක් පැහැදිලි වුණා. අධිකරණය වශයෙන් ගත්තත් එතැනදි හානිකර විය හැකි දේ තිබුණා.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අනුව ජනාධිපතිට වඩා අගමැති බලවත් වන අතර, දෙවැනි සෙනට් සභාවක් හරහා තවදුරටත් මේ කරුණ සංකීර්ණ වෙනවා. ඒකීය බව සහ කෙටුම්පතේ ඇතුළත් වගන්ති සම්බන්ධයෙන් තවත් කරුණු ගණනාවක් අර්බුදගත බව පැහැදිලියි. ඒවා කඩිනමින් විවාදයකින් තොරව යහපත් විසඳුම් සෙවිය හැකි දේ නෙවෙයි. එනිසා ඒ සඳහා යම් කාලයක අවශ්‍යතාව අපි දුටුවා.

මේ අර්බුදගත ලේඛනයක් වෙනුවෙන් එකිනෙකට වෙනස් මත මල්වතු අස්ගිරි මහා විහාරයන්ගෙන් ඇසුණාඑවැනි තැනක මෙහෙම සංවාදයක් ඵලදායී වන්නේ කොහොමද?

උභය විහාර පාර්ශ්වයන් හෝ ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන් විවිධ අවස්ථාවන්හිදී විවිධ ප්‍රකාශයන් නිකුත් කළ ආකාරය අප පසුගිය කාලයේ දුටුවා. එනිසා කාටත් අවස්ථාව ලැබෙන පරිදි අදහස් මත ඉදිරිපත් කළ හැකි සංවාදයක් පිළිබඳ අපේ අස්ගිරි මහා නිකාය පැත්තෙන් සාකච්ඡා වුණා. ඒක වඩා ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක්.

එයින් පස්සෙ මල්වතු මහා විහාරයේ නායක හාමුදුරුවන් වහන්සේද ආගමික කටයුත්තකට විදේශගත වන නිසා එම කටයුතු අනුනායක දිඹුල්කුඹුරේ නායක හිමියන්ට පවරා සුදුසු සාකච්ඡාවක් සඳහා දින යොදාගන්නා ලෙස දන්වා තිබුණා. ඒ අනුව මල්වත්ත විහාරයේ කාරක සංඝ සභාවද එයට දායක වුණා.

එතැනදි දළදා මාලිගාවේ දියවඩන නිලමෙ තුමාටද මේ සංවාදය ඇසුරෙන් යම් ඇඟිල්ල දිගු කිරීමක්සිදුවුණා?

මෙහෙමයි. අපේ විහාරස්ථාන දෙකේ කාරක සංඝ සභාව ජාතික අවශ්‍යතාවන්හිදී එකී රැස්වීම සඳහා යොදාගන්නේ දළදා මාලිගාවයි. එනිසා ඒ කටයුතු සම්පාදනය කරදීමට දියවඩන නිලමෙතුමා කටයුතු කළ යුතුයි. අනික ඒ දිනය වන විට එතුමාද විදෙස්ගතවයි හිටියේ.
මල්වතු අස්ගිරි මහා විහාරයන් කියන්නේ ඇස් දෙක වාගෙයි. එනිසයි ඒ ස්ථාන දෙක උභය මහා විහාර යනුවෙන් හඳුන්වන්නේ. එක ඇහැකින් බලා තීරණ ගැනීමට වඩා මෙවැනි ජාතික කර්තව්‍යයකදී වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර යෝජනාවන්ට අවස්ථාව ලබාදීම සඳහා උභය මහා විහාර කාරක සංඝ සභාවේ අවධානයට මේ ව්‍යවස්ථාවේ ඇතුළත් විවාදාත්මක කරුණු අවධාරණය කළා. එදා අස්ගිරි නායක හාමුදුරුවන්වහන්සේ පන්සලේ හිටියා. මේ සියල්ල ගැන උන්වහන්සේ දැනුවත්ව සිටියා. අවශ්‍ය දේ පිළිබඳ අපට මගපෙන්වීම කළා.අස්ගිරි මල්වතු විහාර කාරක සංඝ සභාවන්හී නායක හාමුදුරුවරුන් 20 බැගින් ඇතුළත් වෙනවා. එතැනදි මේ හැමකෙනෙකුගේම පොදු සම්මුතිය තමයි අප ප්‍රකාශයට පත්කළේ. එහෙම නම් මහනායක හිමිවරුන් හතළිහෙන් දෙකක් අතහරිමුකෝ. තිස් අට දෙනකුගේ මතය එතැන තිබෙනවා. ඒක කෙතරම් ප්‍රජාතන්තවාදී හඬක්ද?

අගමැතිවරයා කියන්නේ තවමත් අලුත් ව්යවස්ථාවක් සකස්කර නොතිබෙන අවස්ථාවක එයට යමෙකු විරුද්ධවන්නේ කෙසේදැයි වැනි මතයක් බව ඇඟෙනවාඑතෙනදි අලුත් ව්යවස්ථාවක් එපා යැයි ඔබවහන්සේලාතරයේ කීවාද?

මේ ටික පැහැදිලි කරගන්න. අපි කීවේ අපට ලැබී තිබෙන නව යෝජනාවන් ඇතුළත් කෙටුම්පත සම්බන්ධයෙන් වාර්තාවේ වන බොහෝ කරුණු පිළිබඳ අප එකඟවන්නේ නැහැ කියන කාරණාවයි. ඒවා ඇතුළත් කරනවා නම් එවැනි ව්‍යවස්ථාවකට අප එකඟ නැහැ කියන එකයි. අනික අප එකඟ නොවන දේටත් එහෙමයි කියලා අනුමත කරගන්න යමෙක් උත්සාහ කරනවා නම් එය අපට තම දේශපාලන බලය හැකියාව පෙන්වා වරදක් නීතිගත කිරීමක්. එහෙමනම් මොකටද එක එක්කෙනා අපට වරින්වර මේ ව්‍යවස්ථා ගැන අදහස් යෝජනා ඉදිරිපත් කරන්න කියන්නේ. අනික එනිසා අලුත් ව්‍යවස්ථාවක් එපා කියන එකෙන් විවිධ මත ගම්‍ය කිරීමට යම් තැනක තවත් මතයක් නිර්මාණය කරනවා නම් ඒවාට අපේ බැඳීමක් වගකීමක් නැහැ.

අප ඉදිරිපත් කරන දේ පිළිගන්න අකමැති නම් ඒ වාර්තා අපට ගෙනත් දෙන්නේ ඇයි. ගෙනත් දීලා වරදක් හෝ නිදොස් කළයුතු තැන් පිළිබඳ යෝජනා කළාම ඇයි භික්ෂූන්වහන්සේලා අවලාදයට පත්කරන්නේ. උන්වහන්සේලාට ගරහන්නේ. මෙතැනදි මම පළමුව රට තුළ විවිධ පක්ෂ සංවිධාන සහ කණ්ඩායම් විසින් පක්ෂ සහ විපක්ෂව ඉදිරිපත් වන කරුණු අවධානය කළා. ඊළඟට රජය කියන දේ විමසා බැලුවා. තවදුරටත් අන්තර්ජාලය හරහා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට අනාවරණය කරන කරුණු විමසීමට ලක් කළා. එහෙම බලනකොට එයින් බහුතර මතයක් ගොඩනැගී තිබුණේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් දැනට කෙටුම්පත්ව ඇති යෝජනා අනුව එය රටට,ජාතියට,ආගමට බලවත් හානිකර තත්ත්වයක් ඇති කළ හැකි අවදානමක් පිළිබඳ අනතුරක්.

ඒ දේ සියල්ල එකට ගළපා අවසානයේදී තීරණය කළා මේ කරුණු ඒ ඒ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර නිරවුල් කරගන්නා තුරු අප වෙත ලබාදී ඇති නව ව්‍යවස්ථා යෝජනා වාර්තාව අප සමස්තයක් ලෙස විරුද්ධත්වය පළ කරනවා කියන කාරණය.

එයින් පස්සෙ?

අපේ යාන්ත්‍රණය තිබුණේ මෙහෙමයි. එයින් පස්සෙ අපි ඒ කාරණා තවදුරටත් ත්‍රෛනිකායික මහා සංඝයා රැස්කර සාකච්ඡා කර පවතින ගැටුම් සමග අර්බුදකාරී කරුණු වෙනම අධ්‍යයනය කරනවා. එයින් පස්සේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු වගකිව යුත්තන්ද පක්ෂ විපක්ෂ ප්‍රබල සංවිධන කණ්ඩායම් හමුවී එකට අසුන්ගෙන ඒ ගැටලු තැන් පැහැදිලිව නිරාකරණය කර ගන්නවා

ඒ ක්‍රමය වැරදිද? දෙමළ ඇතැම් දේශපාලකයන් කියන කරන කතා නිසා මේ ව්‍යවස්ථාවේ ඇතුළත් සංකීර්ණ තැන් අනුව යම් සාධාරණ සැකයක් රටට තියෙනවා. ඒ සැකය අපටත් තියෙනවා. ඔවුන්ද එවැනි සංවාද සඳහා සහභාගි කරවා ගැනීමේ වුවමනාව අපට තිබුණා. මේවා වැරදිද? මේ අය ඒ උත්සාහය වළක්වා සිටියා.

ඔබවහන්සේ එහෙම චෝදනා කරන්නේ ඇයි?

සාමාන්‍යයෙන් බොහෝ දේශපාලකයන් තමන්ගේ දිවුරුම්දීමෙන් පසු අප විහාරස්ථානවලට පැමිණි මහනායක හාමුදුරුවරුන් බැහැදැක ආශිර්වාදය ලබාගන්නවා. ජාතික සංහිඳියාව වර්ගභේදය වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවක් යටතේ බලය ලබාගත් උතුරේ මහ ඇමතිවරයාත් එසේ අප හමුවී යැයි අප එදා විශ්වාස කළා. එහෙත් ඔහු පසුගිය කාලයේ එය නොසලකා හිටියා.
ඒත් දැනට සති දෙක තුනකට ඉස්සර ඔහු මහනායක හිමිවරුන් බැහැදුටුවා. ඔහුට ඉහළම පිළිගැනීමෙන් සහ සංග්‍රහයෙන් අපේ ළෙංගතුකම ප්‍රකාශ කළා. අප ඔහු සමග එක්වී මේ අර්බුදය ජයගැනීමට මැදිහත් වන බව තේරුම්කර දුන්නා. ඒත් විග්නේෂ්වරන් මහත්මයා පන්සල

ඇතුළෙන් එළියට ගිහින් ජනමාධ්යයට කීවේ මොකක්ද?

“මහනායක හාමුදුරුවරුන් වෙනස් කරන්න බැහැ. ඒ අය තවමත් ඉන්නේ පරණ මතයේ කියලා චෝදනාවක් කළා. එහෙම නම් මේ සංවාදය තවදුරටත් ගෙන යාමට වඩා ව්‍යාජ විසඳුම් කෙරෙහි පමණක් උතුරේ නායකයන් බලපෑමක් කරන බව පැහැදිලියි. මේ ව්‍යවස්ථාව ආණ්ඩුවට නොමනා ආකාරයෙන් බලපෑම් කරන විජාතික මූල්‍ය ප්‍රතිපාදන මත මෙරට බිලිගැනීමට සූදානම්ව සිටින එන්ජීඕකාරයන්ගේ උත්සාහයක් කියන ස්ථාවරයේ බහුතරයක් ඉන්නවා. අපිටත් මේ සිදුවන සිදුවීමේ පෙළගැස්සවීම තුළ ඒ බව පැහැදිලියි. අපේ පැහැදිලි ස්ථාවරයට ඇහුම්කන්දීමට වගකිවයුත්තන්ගේ වුවමනාවක් නැහැ. කවුරු හෝ ඒ අය වළක්වනවා.

එහෙම කියන්නේ කොහොමද?

ඒ කියන්නේ අගමැතිවරයාට ජනාධිපතිවරයා සමග අප ඍජුව මැදිහත්වීමට ඒ අය අකමැතියි. ඔවුන් පාලකයන්ට වැරදි මගපෙන්වීම් කිරීමට කටයුතු කරනවා. සංඝයා වහන්සේලා අතර භේදභින්නතා මතුවන පරිදි ප්‍රකාශ කරවනවා. ජනතාව තුළ සංඝයා අවඥාවට ලක්කරන ආකාරයෙන් ප්‍රකාශ කරනවා. උතුරට එකක් පවසා දකුණට තව දෙයක් කියනවා.
සිංහල මාධ්‍යයට එකක් කියා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තවත් දෙයක් කියනවා. දෙමළ මාධ්‍යයන් මගින් හාත්පසින්ම වෙනස් දෙයක් ඇහෙන්නේ. මේ තුළ හැම වෙලාවෙම දමිළ ජනතාව සිංහල ජාතිය කෙරෙහි සැකයෙන් බලනවා. දමිළ සහ සුළු ජාතීන් පවතින ක්‍රමය පිළිබඳ විරසකයක් ඇතිකර ගන්නවා.

නමුත් මල්වතු මහනායක හිමියන් විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන ඉදිරියේ දැඩි ස්ථාවරයක රැඳෙමින්නව ව්යවස්ථාව ගැන පැහැදීමෙන් යම් ප්රකාශයක් කළා නේද?  

මල්වතු මහනායක හිමි කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් අවශ්‍යතාව අනුව එවැනි කාටත් සාධාරණ දෙයක් ගෙනාවට කමක් නැහැ කියලා. ඒකට බාධා කරන්න එපා කියන එකයි උන්වහන්සේ අවධාරණය කළේ. අනික අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව කියනවා නම් තවම

අලුත් ව්යවස්ථාවක් හදා නැහැයි කියලා එහෙම එකක් හොඳයි හෝ නරකයි කියන්නේ කොහොමද?

නමුත් උන්වහන්සේ කියන්නේ රට ජාතිය ආගම සහ මහජාතියට අසාධාරණයක් වන සහ සෙසු ජනකොටස් නොසලකා හරින හිංසාවාදී ව්‍යවස්ථාවක් අප අනුමත කරන්නේ නැහැ කියන කතාවයි.  ඒ වෙනුවෙන් විනිශ්චයට කාලයක් අවශ්‍ය නිසා නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ඒ වන විට අප වෙත ලැබී තිබූ ලේඛනවල සඳහන් ඇතැම් බහුතරයක් කරුණුවලට අප අකමැති වුණා.

එහෙම නම්  ඔබවහන්සේලාට එරෙහිව නව ව්යවස්ථා යෝජක පාර්ශ්වයෙන් දිගින් දිගටම චෝදනාඑල්ලවන්නේ ඇයි?

පටු අරමුණු ඇතිව විනිවිදභාවයකින් තොරව යමක් සඟවාගෙන කටයුතු කරන දේශපාලකයන්ට අප ඇත්ත අනාවරණය කරන විට ඇතිවන හානිය පිළිබඳ ලොකු බියක් තියෙනවා.

අස්ගිරිය මල්වතු විහාර දෙකම එකවර එකම ප්‍රකාශයක් ඉදිරිපත් කරන විට මේ අන්තවාදී ගෝත්‍රවාදී සහ ජාතිවාදය අවුස්සන කල්ලිවලට මේක විශාල සිත් රිදවීමක් වෙන්න ඇති. අපිට සුළුතරයකගේ හිත සැනසීම නොව මෙරට උපන් සිංහල බෞද්ධ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරමින් සුළුජාතීන්ටද ඒ රටේ නිදහසේ ජීවත්වීමේ අවස්ථාවට අවශ්‍ය දේ ගැන මැදිහත්වීමේ වගකීමක් තියෙනවා.

අද එහෙම දෙයක් සිදුවන්නේ නැද්ද?

සිංහල බෞද්ධ ජාතියට සැලකීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තියෙනවා. මේ වන විට උතුරේ පවතින්නේ එක නීතියක් කියලා ජනතාව චෝදනා කරනවා. සුළු ජාතීන්ගේ ඉඩම් අර්බුදය විතරක් නෙවෙයි. මහජාතීන්ගේ ඉඩම් පවා එහි අහිමි කරලා. එහි සාමාන්‍ය ජනතාවද ඒ බව ප්‍රකාශ කරනවා. එහෙම නම් විග්නේෂ්වරන්ලා ඉල්ලන පෙඩරල් ක්‍රමය මගින් මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කර නීතිගත කිරීමක් සිදුවන බව පැහැදිලියි.

මේක ආණ්ඩුවට විරුද්ධ කැරැල්ලක් නෙවෙයි. රටේ නීතියත්, සාමයත් රැකීමට පාලකයන් කල්මැරීම හෝ හිතාමතා වගකීමෙන් බැහැර වීම පිළිබඳ අර්බුදයක් කියන එක සිහිපත් කළ යුතුයි. එතැනදි මෙහෙම උතුරේ සිදුවන දේ ලඝුකර අපට මේ බලතල බෙදීම ගැන කතා කරන්න බැහැ. වෙහෙර විහාර ඉදිකරන්න දුන්නේ නැහැ. පැවති නම් ගම් ඉවත් කළා. නටඹුන් විනාශ කළා. උතුරේ සිටි මුස්ලිම් සිංහල ජනතාවගේ දේපළ මංකොල්ල කෑවා. මේකද ආණ්ඩුව හෝ එන්ජීඕ හෝ උතුරේ අන්තවාදී දේශපාලකයන් අපේක්ෂා කරන ජාතික සංහිඳියාව. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ පමණක් වෙනස් කරන්න පුළුවන්ද?

ඔබවහන්සේ මහින්ද රාජපක්ෂ රෙජිමයට ළැදිව කටයුතු කරනවා කියන චෝදනාව තියෙනවා.

සමහර දෙනා මම මහින්දවාදියෙක් කියලා චෝදනා කරනවා. ඒත් අද එහෙම චෝදනා කරන අය එදා මහින්ද පුතුන් මහනුවර දළදා මාලිගාව වටා රේස් පදින විට මහින්දලාගේ ආණ්ඩුවට ප්‍රසිද්ධියේ චෝදනා කළේ නැහැ. ඒ ටිකට මුල් තැන ගත්තේ මමයි.

දිවිනැඟුම පනත යටතේ එක් විහාරස්ථානයක් වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ දහයක මුදල් ලබාදෙන විට එහිදී ඇපයක් ලෙස විහාරස්ථානයට අයත් ඉඩම් දේපළවල ඔප්පු ඇපයට තබාගන්න යැයි ඇමති බැසිල් එදා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නියම කළා. එහෙම නම් ඒ සල්ලි  ඔබතුමාම තියාගන්ට යැයි කෙළින්ම ඇඟිල්ල දිගු කළේ මමයි. අපිට ඩොලර් පවුම් නැහැ. අවුරුදු හතරෙන් පහෙන් මාරුවෙලා යන්නේ නැහැ. ඒ පිරුවටය වගේ නෙවෙයි මේ චීවරය කියන කාරණයත් වගකීමෙන් කියනවා.

අපිට කවුරු ආවත් එකයි. හරියට නොකළොත් එදාට අපි කාටත් පාඩම් උගන්වනවා කියන එක විතරක් කිවයුතුයි. අපි මහින්දත් නෙවෙයි. බැසිල්ලා හරි නාමල්ලාත් නෙවෙයි. මෛත්‍රීලාත් නෙවෙයි. රනිල්ලා‍ත් නෙවෙයි. ඔය කොයි කාගෙත් අනුගාමිකයොත් නෙවෙයි. අද කාටත් අපි අර්බුදයක් හැටියට පෙනෙන්නෙත් ඒ නිසා තමයි.

රාජපක්ෂ සින්ඩ්‍රෝමය ඔළුවෙ තියාගෙන බලන හැමකෙනෙකුටම ඒක පෙනෙන්නෙ එහෙම තමයි. ඒ අයගේ මානසිකත්වය ඒකයි. එතනත් බලන්නෙ අපේ කටවල් වහන්න. යම් අයට ඒ රෝගී තත්ත්වය තියෙනවා.

මේ ලේඛකාධිකාරී තනතුර කියන්නේ ලේකම් කියන කටයුත්ත මිසක් අස්ගිරි විහාරයේ මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි කියලා ඔබවහන්සේට තවත් චෝදනාවක් තියෙනවා.

මම අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ලෙස කටයුතු කරනවා. අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් පත්වන්නේ කාරක සංඝ සභාවේ කැමැත්තෙන්. එයින් පස්සෙ උන්වහන්සේ විසින් තමන් වහන්සේගේ කටයුතු කළමනාකරණය සඳහා යාන්ත්‍රණයක් සකස්කර ගන්නවා. එහිදී අපේ පාර්ශ්වය හැටියට මහනායක හාමුදුරුවන් ලේඛකාධිකාරවරයාට යම් අධිකාරි බලයක් පවරා තියෙනවා. ඒ අධිකාරි බලය සමහර සමිති සමාගම් රැස්වීම්වල ලේකම්වරුන්ට නැතිව ඇති. මම අස්ගිරි නිකායේ ලේඛකාධිකාරි වෙන්නෙ ඒ වෙනස නිසා.

‍ඉංග්‍රීසියෙන් සෙකෙට්රි යන තේරුම දෙන රෙජිස්ට්‍රාර් නෙවෙයි මම. එහෙම අය අපේ නිකායවල නැහැ. සිංහලයෙන් කවුරුත් දන්නා අධිකාරි බලය ඇති ලේඛකාධිකාරී හිමිනම හැටියට මම කටයුතු කරනවා. එතෙනදි මහනායක හිමි පවරන කටයුතු මම කරනවා. ඒ අනුව මට උන්වහන්සේ වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයන් නිකුත් කිරීමේ නෛතික බලය ලබනවා. මොකද අපි වසර හත්අටසියයක් තිස්සේ විකාශනය වූ මහා නිකායක අණපනත් කොන්දේසි රකින ඇත්තන් මිස මේ මැතිවරණ කාලෙට හතු පිපෙන්නාක් වගේ පිපෙන සිවිල් කණ්ඩායම් සිවිල් නායකයන් සහ ප්‍රකාශ නිකුත් කරන දවස දෙකේ  ඕපපාතික කණ්ඩායම් නොවන නිසා. මම හැමදේම කරන්නේ මගේ ලේඛකාධිකාරී බලය තුළ පවතින අධිකාරි බලය නිසා බව වගකීමෙන් කියනවා. ඒකට අභියෝග කරන්න ඔය කාටවත් බැහැ.
ජිනීවාවලදිත් ප්‍රකාශ නිකුත් කරන්නේ ලේඛකාධිකාරී මිස මහ කොමසාරිස් නෙවෙයි. අනික ලංකාවේ කැබිනට් ප්‍රකාශකයන් තුන්දෙනා අවස්ථා තුනකදී මත තුනක් කියපු අවස්ථා ජනමාධ්‍ය තුළ ඇසුණා. ජනාධිපති ඇමරිකාවේ සිටියදී ලංකවේ අණපනත් වෙනස් කළ අවස්ථා තිබුණා. ඒ ගැන කතා නොකර අපේ ශාසනික විනය ප්‍රතිපත්ති විවේචනය කරන්නේ ඇයි? මේවා ආගම හෑල්ලුවට ලක් කිරීමට ඇතැමුන්  ගන්නා උත්සාහයන් බව දැන් පැහැදිලිද?

කාරක සංඝ සභාව ගැන සඳහන් කළොත්?

කාරක සභාවට විසි නමක් ඉන්නවා. වරින් වර ඇතිවන පුරප්පාඩු මත මහනායක හිමියන් විසින් සුදුසුකම් පරීක්ෂා කර බලා ඒ සඳහා විහාරස්ථානවලින් හාමුදුරුවන් වහන්සේලා පත්කරනු  ලබනවා. මහනායක හිමි ළඟට අනුනායක හිමිවරුන් දෙදෙනකු ඉන්නවා. ඊළඟට ලේඛකාධිකාරී හිමි පත්වෙනවා.

භික්ෂූන් වහන්සේලාට දේශපාලනය අකපයැ ඇතැමුන් පවසනවා. විශ්ව දේශපාලනය සමාජ දැනුම පිළිබඳ වැටහීමක් නැතැයි පවසනවා. එහෙම නම් ඔබවහන්සේගේ අධ්‍යාපනික සහ වෘත්තීය අත්දැකීම් ඇසුරෙන් මෙවැනි අවස්ථාවන් විවරණය කළොත්?

මම  ඇමරිකාව, තායිවානය ඇතුළු විදේශයන්හී  විශ්වවිද්‍යාලයන්හී උසස් අධ්‍යාපනය ලබා ආචාර්ය උපාධිය ලබා ලංකාවේදී කොළඹ රාජකීය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයන්හී උගන්වා පළපුරුද්ද ලබා තිබෙනවා. නීතිය පිළිබඳ විශ්ව හැදෑරීම් කර ඒ පිළිබඳ අදටත් කටයුතු කරගෙන යනවා.  ලිපි ලේඛන සකස්කර තිබෙනවා. අදටත්  මම ජාතික සහ ජත්‍යන්තර දේශපාලනයේ සිදුවන වෙනස්කම් සහ සමාජ දරිද්‍රතාවන් පිළිබඳ  විශ්ලේෂණය කරමින් සිටිනවා.

භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ නිකුත් කරනවා. දනට බණට වඩිනවා හැරුණුකොට සමාජ ප්‍රගමනයට දායක නොවී හැමදේම කඩාකප්පල් කරනවා යැයි චෝදනාවක් තියෙනවා. එහෙම නම් ඔබවහන්සේ ඒ මතය බිඳීමට මෙතෙක් ඉටුකර ඇති සමාජ මෙහෙවර ගත්තොත්?

මම ජයග්‍රහණය ශ්‍රී ලංකා නමින් ආයතනය සමග යුද්ධයෙන් විනාශ වී ගිය ජාතික සම්පත් ප්‍රතිසංස්කරණය කරමින් උතුරු නැගෙනහිර සිංහල දමිළ සහජීවනයට පාර කැපුවා. යුද්ධය නිසා විනාශ වී ගිය උතුරු නැගෙනහිර වැව් අමුණු පිළිසකර කළා.

ඒ විතරක් නෙවෙයි. අද ඔබ දකින අරතංලාව භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් ස්මාරකය ඉදිකිරීමේ මෙහෙවරට මූලිකත්වය දුන්නේ මමයි. එයින් අදහස් කළේ යුද්ධයක් මුවාවෙන් මෙවැනි මිනිස් ඝාතන තවත් නොවිය යුතු යැයි හැම ජාතියකටම පණිවුඩයක් ලබාදීමයි. ඒ අවට ගම්මාන ඉදිකර විපතට පත් ජනතාව පංදිචි කළා. අපි ඇතම් එන්ජීඕ වගේ අන්තවාදී නැහැ.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ දේශපාලන මතවාදය කුමක් වුවත් උන්වහන්සේ ඉකුත් මාසයක දෙසීයක් භික්ෂූන්වහන්සේලා සමග උතුරේ කුලීන සහ කුලහීන ගැටුම නිසා ලේ හිඟයක් පවතින විටෙක ලේ පරිත්‍යාගයට කටයුතු කළා. සහජීවනය සහ ව්‍යවස්ථා පිපාසයෙන් කෑමොරදෙන  එක් එන්ජීඕකරුවෙක්වත් එහෙම ලේ දන්දී  නැහැ. යුද විරුවන්ට අත දිගුකර ලේ පරිත්‍යාග කළේ නැහැ. වැව් අමුණු හදලා නැහැ. ගම්මාන ඉදිකරලා නැහැ.
එදා අස්ගිරි මහා විහාරයට දළදා හිමියන් බාරදෙන්නේ යටවත්තේ පෙළපතේ ගරු භික්ෂූන්වහන්සේලා අතටයි. එතැනදි එයින් සංකේත්වත් වන්නේ රටේ ජාතික ආගමික අනන්‍යතාව රැක ගැනීමක්. අප කවදත් ආගම ජාතිය සහ අන්සතු අයිතිවාසිකම් වලට ගරුකරන භික්ෂු පරපුරක්. අපේ භික්ෂු පරපුර ඇතැම් දේශපාලකයන් වගේ හය පාස් අය නෙවෙයි. ප්‍රාචීන පණ්ඩිත සහ වෙනත් ජාතික ජාත්‍යන්තර උපාධි ලබාගත් අය බව කිවයුතුයි. එනිසා අප ගන්නා හැම තීරණයකම දුරදිග බලා දකින දැක්මක් තියෙනවා.

එහෙමනම් ඉදිරියේ නව ව්යවස්ථාවකට අනුමැතිය ලැබෙනවාද?

ඒක අපට ලැබෙන වාර්තා යෝජනා අනුව අපි තීරණය කරනවා. කාගෙවත් කට වචනය අවශ්‍ය නැහැ. කරන දේ හරියට ලියන්න. ලියන දේ හරියට කරන්න‍. එවිට තියෙන ප්‍රතිපාදන විස්තර අනුව අපි ඒ අවස්ථාවලදී ඒ විනිශ්චය ගන්නම්. කොයි කවුරු බලයට ආවත් මොනවා කීවත් අපේ ජාතික ආගමික ප්‍රතිපත්ති වගකීම්වලින් අපි අත්මිදෙන්නේ නැහැ. මොන දේ ගෙනාවත් අපි අස්ගිරි මල්වතු පාර්ශ්වයන් එය හදාරමින් උගතුන් බුද්ධිමතුන්ගේ වාර්තා ලබාගනිමින් සෙසු ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාද සමග අපි අපේ ජාතික මෙහෙවර ඉටුකරනවා.

– ada.lk

UA-92200809-1